කඹුරුපිටිය ප්‍රදේශයේදී ඊයේ අළුයම් කාලයේ ඝාතනයට ලක්වූ අවිවාහක ගුරුවරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 76ක් වන ඇයගේ මව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර සැකපිට වයස අවුරුදු 36ක් වන මරණකාරියගේ සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබුණා.
නිවසක කාන්තාවන් දෙදෙනෙකු වැටි සිටින බවටයි ඊයේ අළුයම කඹුරුපිටිය පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණේ.
ඒ අනුව නිලධාරින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තරුණිය හිස ප්‍රදේශයේ තුවාල සහිතව මියගොස් සිට ඇති අතර, මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිට තිබෙනවා.
පොලිස් නිලධාරින් විසින් එම කාන්තාව කඹුරුපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
මෙසේ මියගොස් තිබුණේ, වයස අවුරුදු 33ක් වූ අවිවාහක ගුරුවරියක්.
මරණකාරිය සිය මව හා සහෝදරයා සමග එම නිවසේ පදිංචිව සිට තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදීයි අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Post a Comment