"චම්පික වගේ කෙනෙකු අතින් මේ වගේ දෙයක් වෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ" යටිනුවර විපක්ෂ නායකගේ පවුල බේරා ගැනීමේ මොහොත මඟ හැරුණු හැටි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය සතිය රටම කම්පනයට පත් කළ සිදුවීමක් වී නම් ඒ යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් විපක්ෂ කණ්ඩායම් නායක චම්පික නිලන්තගේ පවුල මුහුණ පෑ ඛේදවාචකයයි.


කාටත් හිතාදරයකු වූ වදනකිනුදු කිසිවකුට පීඩාවක් නොකළ සන්සුන් තැන්පත් ස්වරයෙන් සැම අමතන ඔහු නොදන්නා කෙනකු යටිනුවර නොසිටි තරම්ය. සාමාන්‍යය‍ෙන් ප්‍රාදේශීය දේශපාලනයට එන්නේ හයිය හත්තිය ඇති කෙරුම්කාරයන්ය. එක්කෝ පළාතේ ප්‍රබල දේශපාලකයාට ආවතේවකම් කරන, ඔහුට මුවා වී ජාවාරම් කරන කැනහිලුන්ය.

ඒ අතරේ චම්පික ලේසියෙන් පහසුවෙන් ඉදිරී නොවැටෙන සඳු]න් ගසක් වූ බව ප්‍රතික්ෂේප කරන්නන් විරල බව ඔහුගේ මළගමට ගිය අය දුටුවහ. “අර පොඩි දරුවා ඉතිරිවෙලා කට උත්තරයක් නොදුන්නා නම් චම්පික වගේ කෙනකු අතින් මේ වගේ දෙයක් වේ යැයි කවුරුත් විශ්වාස කරන්නේ නෑ. කාටවත් වරදක් නැති මේ මනුස්සයාගේ පවුලට වෙච්ච දේ ගැන ඇත්ත සොයන්නට දහසක් දෙනා ගැන සැක හිතන්නට වෙනවා අනිවාර්යයි” ඒ පළාතේ මිනිසුන් කියන කතාවය.

චම්පික නිලන්ත පදිංචිව සිටියේ යහලතැන්න සුනිලගම නම් ගමේය.මේ ගම පිහිටන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයෙන් පොල්ගහමුල හන්දියෙන් හැරී මුරුතලාව හරහා අලදෙණිය දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර හතක් පමණ ගිය තැන ඔහුගේ ගමේ පිිවිසුම හමුවෙයි.

ඒ ගම පිහිටන්නේ ප්‍රකට නෙල්ලිගල විහාරස්ථානයටද ආසන්නවය. එහෙත් කඩුගන්නාවේ සිට පේරාදෙණිය, පිළිමතලාව, පොත්තපිටිය, දන්තුරේ වැනි පුළුල් ප්‍රදේශයක් වසා ගත් යටිනුවර චම්පික නොහඳුනන කෙනෙක් වී නම් අලුත පැමිණි පදිංචිකාරයකු විය යුතුය. මවුපියන් උපතින්ම කැපුවත් කොළ පන්නයේ යූ.එන්.පී. කාරයන්ය. පවුලෙන් ආ දේශපාලන උරුමය ඔහු ප්‍රායෝගිකව හසුරුවන්නට පටන් ගන්නේ 1997 දීය.

ඒ එම වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයෙනි. එතෙක් පෞද්ගලික සමාගමක රැකියාවක් කළ ඔහුගේ ජන ආකර්ෂණයට හොඳම සාක්ෂිය යටිනුවර ප්‍රාදේශීය සභාවට මේ තරුණයා පත්වීමය. 2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම මනාප සහිතව ජය ගන්නා ඔහු යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසින් පත්විය.

ඔහුගේ දේශපාලන ගමන පටන් ගත්තේ එසේය. ඒ පටන් ගත් පටන් ගැනීම වේගවත් විණි නම් අද ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. 2009 වසරේ මධ්‍යම පළාත් සභාවට තරග කළද එයින් පරාජයට පත් වූ ඔහු මිය යන තෙක්ම ප්‍රාදේශීය සභාවේ නොදැවී සිටියේය.

ඔහුට ඡන්දයක් දුන්නේ හුදෙක් ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේග පාක්ෂිකයන් පමණක් කියා මේ අය විශ්වාස කරන්නේ නැත. පක්ෂයක් පාටක් නොබලා ඔහු ප්‍රාදේශීය සභාවේ හිඳුවන්නට ඔවුන්ට ඕනෑ වුණේ ඔහු ගමට රටට ඕනෑ කළ එකෙක් වීම නිසාය.

එහෙත් පසුගිය සඳුදා උදා වෙද්දී චම්පික මෙතෙක් කලක් රැකගෙන සිටි සිය ප්‍රතිරූපය, කීර්තිය සුන්නද්දූලි කර ගත්තේය. ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ පසුපස කොටසේ එල්ලී තිබිණි. ඉහළ මාලයේ කාමර දෙකක බිරිඳගේත් වැඩිමල් දියණියගේත් සිරුරු වැතිරී තිබිණි. අහම්බයකින් මෙන් බාල දියණියට සිය ජීවිතය බේරාගන්නට හැකියාව ලැබිණි. ඒ සිත් කම්පා කරවන සිදුවීම් පෙළ යළි වදන් බවට පත් කිරීම පසෙක ලන්නට සිතමි. ඒ වෙනුවට ඔහු මේ අපරාධය දක්වා පෙළ ගැසීමේදී ඔහුටම හැරුණු තැන් පිළිබඳව විමසීම මෙවන් ඛේදවාචකයකට තවත් කිසිවකු හෝ ගොදුරු වීම වළකන්නට ඉවහල් වේ යැයි සිතමි.

චම්පික දේශපාලකයකු වූවාට ඒවායින් වාසි ගන්නට, හම්බ කරලන්නට වලි කෑ එකෙක් නොවීය. ඕනෑ නම් ඔහුට සිය ආණ්ඩු බලය ඇති කාලයේ බලවත් මැති ඇමැත්තකුට කිට්ටු වී ඔහුගෙන් වාසි කඩා ගැනීමේ බලය තිබිණ. ඒ බලය ඔහුට සකසා දී තිබුණේ ඔහු වටා සිටි සෙනඟයි. මේ සෙනඟට බිය කිසිදු දේශපාලකයකු චම්පික ඉල්ලන උදව්වක් නොදේ යැයි සිතිය නොහැකිය. එහෙත් ඔහු කළේ සුළුවෙන් ඉඩම් සහ වාහන අලෙවි කිරීමය. එසේ නැති නම් ඉඩම් බ්‍රෝකර් කෙනකු ලෙස ලැබෙන කොමිස් මුදල ලබා ගැනීමය. ඔහුට ලොකු ජීප් ඕන වුණේ නැත. ගමන් ගියේ කුඩා මෝටර් රථයකිනි.

ඔහුගේ මේ නිස්කලංක ජීවිතය අවරට හරවන්නේ ආර්ථිකයයි. ඔහු සිය හිතවතකු සමග කළ ගනුදෙනුවක ශේෂයන් දුරදිග යෑම මේ මහා අපරාධයට සිත් කුලු ගැන්වූ ප්‍රබලම සාධකය වී ඇති බව කියන්නේ ඔහු සිය බිරිඳ සහ දරුවාගේ දිවි තොර කර මිය යන්නට මත්තෙන් ලියූ ලිපියක් නිසාය. පිටු හතරකින් යුතු ඒ ලියුමට තවත් සාක්ෂි සිය නෑ හිතවත්තු එකතු කර දෙති. ඔහුගේ වැඩිමල් සහෝදරයා පවසා තිබූ කරුණුවලින්ද එය සනාථ වෙයි.

පිටු හතරකින් යුතු මේ ලිපිය අද විවාදිත වී ඇත. එහි පවතින මූලික කරුණක් වී ඇත්තේ මහනුවර ව්‍යාපාරිකයකු සමඟ කළ මූල්‍ය ගනුදෙනුවකි. බොහෝ දෙනා එය හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ගත් ණයක් සේ හඳුන්වා දුන්නද ඇත්ත එය නොවේ. සිදුව ඇත්තේ ඉඩම් ගනුදෙනුවක පළහිලව්වකි.

මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රකට අවන්හලක් පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරිකයාට මුරුතලාව නෙල්ලිගල ප්‍රදේශයේ පිහිටි නිවසක් සහිත ඉඩමක් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට අලෙවි කිරීම සඳහා බ්‍රෝකර් ලෙස ක්‍රියා කර තිබුණේ චම්පිකය. ඔහුට ඒ වෙනුවෙන් නීත්‍යනුකූලව හිමි වන සියයට තුනක කොමිස් මුදල පොරොන්දු ප්‍රකාරව ලැබුණේ යැයි සඳහන්ය. පැවසෙන ආකාරයට මේ ගනුදෙනුව සිදුව ඇත්තේ මීට මාස හයකට හතකට පෙරය. අදාළ ව්‍යාපාරිකයා මෙය මිලදී ගෙන ඇත්තේ යළිත් ලාබයක් රඳවාගෙන විකිණීමේ අටියෙනි. එයට චම්පිකද සහාය දෙන බවට පොරොන්දු වී තිබූ බව කිය වෙයි. කෙසේ වුවද ඔහු මෙය විකිණීමට යන්නේ ගෙනුදෙනුවෙන් මාස හයකට පමණ පසුවය. එහෙත් ව්‍යාපාරිකයාට ප්‍රශ්නයක් ඇත. මෙම ඉඩමේ සැලැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමත නොවීමය.

මේ තත්ත්වය මත ඉඩමේ බ්‍රෝකර් ගනුදෙනුව කළ චම්පිකට ව්‍යාපාරිකයාගෙන් විසුමක් වී නැත. කෙසේ හෝ ඉඩමේ සැලසුම් අනුමත නොකළෙහොත් මරා දමන බවට තර්ජනය කර ඇත. එය සිදු නොකර උඹ මැරුණොත් ගෑනියි දරුවොයි මරන බවට ඔහුගේ තර්ජන තිබුණු බව ඔහුගේ සමීපතම ඥාතියකුද පැවසූ අතර ලිපියේ කරුණුවලින්ද එය සනාථ වන බව පොලිසිය පවසයි.

කෙසේ වුවද චම්පික මෙම ඉඩමේ ප්‍රශ්නය සිය මිතුරු ව්‍යාපාරිකයාට නිරාකරණය කර දෙන්නට සමත් වී නැත. එහිදී ව්‍යාපාරිකයා කර ඇත්තේ ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ කාලයට අදාළ දින යොදමින් චම්පික නිලන්තගෙන් බලහත්කාරයෙන් අස්සනක් ලබා ගැනීම බව ඔහුගේ සහෝදරයෙක් පවසයි. චම්පික මෙම ලියැවිල්ලට යොදන්නේ සිය නිසි අස්සනද නැති නම් හොර අස්සනද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහු ඊට පෙර යෙදූ අස්සනක් ස්කෑන් කර ජංගම දුරකථනයේ ඡායාරූප ගත කර ඒ අස්සන් කරන අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා රැගෙන පැමිණි බව සිය සහෝදරයා තමන් සමඟ කී බවද මෙම සහෝදරයා පවසා ඇත. කෙසේ වුවද මෙම කරුණුවල නිරවද්‍යතාව පොලිස් විමර්ශනවලින් හෙළි කර ගත යුතුය.

අස්සන ලබා ගත්තද මේ ඉඩම විකිණුනේ නැත. එවර ව්‍යාපාරිකයා කර ඇත්තේ රුපියල් ලක්ෂ 50ක් ඉල්ලා දිගින් දිගටම කරදර කිරීමය. එහිදී ව්‍යාපාරිකයා දමා ඇති තුරුම්පුව වන්නේ එකී අස්සන හොර අස්සනක් බවත් හිටපු සභාපතිවරයා තමන්ට දුන්නේ කූට ලේඛනයක් බවත් සඳහන් කරමින් පැමිණිලි කර හිරේ යවන බවට තර්ජනය කිරීමය. දවසක් සිය දියණියන්ගේ පාසල අබියසදී දරුවන් ඉදිරියේ මෙම ව්‍යාපාරිකයා චම්පිකට පහර දී ඇත. දරුවන් ඉදිරිපිට එල්ල වූ පහරකෑම ඔහු සිත තුළ බලවත් කම්පනයක් ඇති කළා නිසැකය. එසේම එම දරුවන්ද පියාට යමකු පහර දීම කෙසේ ඉවසන්නට ඇතිද? ඔවුන්ගේ සිතිවිලි කෙතරම් ආතතියකට ලක් කරන්නට ඇති දැයි සිතා ගත හැකිය. ඒ ගැන සිතන චම්පිකගේ සන්සුන් මනස ගිල ගන්නා පිළිකාවක් සේ මෙකී පීඩනය ඔඩු දිව්වාට සැකයක් නැත.

රුපියල් ලක්ෂ 50ක් දී වැඩේ ගොඩින් බේරා ගැනීමට ඔහුට ඕනෑ වුවද එසේ කළහොත් තමන් සහ දරු පවුලට අත්වන ඉරණම ගැන සිහිකොට ඔහු හැඬූ වාර ගණන අපමණ බව ඔහුගේ සමීපතයෝ පවසති.එහෙත් මේ මුදල ලබා නොදෙන්නැයි පවුලේ සමීපතමයන් පවසා ඇත්තේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි. එහෙත් ඔහු සිත තදින් පැළපදියම්ව තිබුණේ කූට ලේඛන ලියැවිල්ලකට ඔහුට හිරේ විලංගුවේ වැටෙන පසුබිමක් නිර්මාණය වුවහොත් මෙතෙක් රැක ගත් කීර්තියට සිදුවන හානිය පිළිබඳවය.

කිව්වත් වාගේම ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 50ක් ලබා ගන්නා අටියෙන් හිටපු සභාපතිවරයා කූට ලේඛන සකස් කර ඇතැයි කියමින් මහනුවර පොලිසියේ පැමිණිල්ලක් දැම්මේය. මේ පැමිණිල්ලට පොලිසියේ ඉහළම නිලධාරියකුද සම්බන්ධ වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඔහුගෙන්ද පොලිසිය මේ වනවිට ප්‍රකාශයක් ලබා ගෙනය.

සමීපතමයන්ගේ සහ විමර්ශන තොරතුරු අනුව මෙම පොලිස් නිලධාරියා බලෑපෑම් කර ඇත්තේ ව්‍යාජ ලේඛන චෝදනාවක් නිසා අවුරුදු 20ක් පමණ හිරේ විලංගුවේ නොවැටී ලක්ෂ 50ක් දී ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නා ලෙසය. ඒ අනුව මහනුවර පේරාදෙණිය පාර කිංග්ස්වුඩ් විදුහලට ආසන්නයේ පිහිටි නීතිඥ කාර්යාලයකටද සිය සහෝදරයා සමඟ ගිය චම්පික මෑත දිනයකදී ගොස් රුපියල් ලක්ෂ 10ක් ලබා දී ඇත. එහෙත් ඉතිරි මුදල ඉල්ලා යළිත් වරක් ඔහු කරදර කර ඇති අතර එහිදී ඔහු කර ඇත්තේ ඔහු සතුව තිබූ අළු පැහැති ජපන් ඇල්ටෝ කුඩා මෝටර් රථය ඉතිරි රුපියල් ලක්ෂ 40 වෙනුවෙන් හිලව් කිරීමය. මෙම පැවරීමට අදාළ ලිපි ලේඛන හුවමාරු වී ඇත්තේ මෙකී මහනුවර ඉහළ පෙළේ පොලිස් නිලධාරියාගේ කාර්යාලයේදී බව චම්පික ඔහුගේ සොහොයුරාට පවසා තිබේ.

මේ ගනුදෙනුව නිමා කළ ඔහු සිය සොයුරාට පවසා ඇත්තේ එතෙක් ඔහු පීඩා විඳි ප්‍රශ්නය යාන්තම් කෙළවර වී ඇති බවය. එහෙත් චම්පිකට ඒ අස්වැසිල්ල විඳින්නට සිදුව ඇත්තේ පොඩි කාලයකි.

මේ භවයේදී පාපකර්මයක් නොකළද ඔහු පෙර භවයකදී කළ කර්මයක් නිසාදෝ මේ ඉඩම් ව්‍යාපාරිකයාගේ තර්ජනය යළි තමන් වෙතට ආවේය. එයින් නොසන්සුන් වූ චම්පික අස්වසාලූ ඔහුගේ සොහොයුරා පවසා ඇත්තේ නීතිඥයකු හමු වී වැඩිදුර උපදෙස් ගෙන ප්‍රශ්නය නිරාකරණය කර ගන්නා ලෙසටය.

එහෙත් මේ පැමිණිල්ල යටපත් කිරීමට මහනුවර ඉහළ පොලිස් නිලධාරියකුට රුපියල් ලක්ෂ 5ක් ලබා දී ඇති බවට ඔහු අවසන් වරට ලියූ ලිපියෙන්ද ඉඟියක් ලබා දී ඇත.

දරුවන් ඉදිරියේ පහර කෑමෙන් ලද මානසික කම්පනයත්, තමන්ට දැඩි සේ තිබූ මුදල් පීඩනයත්, කුඩා දියණියගේ චර්ම රෝගයකට ඉන්දියාවට ගොස් ප්‍රතිකාර කිරීම ඇතුළු පැවැති සකල බලාපොරොත්තු මේ අනපේක්ෂිත ඉඩම් පළහිලව්ව මත්තේ සුන් වීමත් ඇතුළු පීඩා ඔහුගේ සිත කෙතරම් කකාරවන්නට ඇතිද යන්න ඔහුගේ සාමාන්‍ය ජීවිතය දන්නා පුද්ගලයන්ට අදහා ගත හැකිය. සාම්ප්‍රදායික ප්‍රාදේශීය දේශපාලනඥයකුට හිමි නරුමකම් උරුම නොවූ ඔහු දැවැන්ත මානසික පීඩනයකින් සිය අවසන් තීන්දුව පියවි නොවන සිහියකින් ගත්තා නිසැකය. ඔහුට මඟහැරුණු තැන කොතැනද යන්න විමසිය යුතුය.
චම්පිකා දීපානි රණසිංහ, විදූෂ වෙදගෙදර

Post a Comment

Previous Post Next Post